ඩිජිටල් මාධ්‍ය හරහා යොවුන් සම්බන්ධතා ගොඩනැගීමෙන් සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම මගින් උගත් පාඩම් පිළිබිඹුව.

- සරංග දිල්හාන් කෝනාර

August 16, 2021

--- Image caption ---

"ඇසකට ඇසක් මුළු ලෝකයම අන්ධ කරයි." - මහත්මා ගාන්ධි තුමා

යමෙක් උප්පත්තියෙන් කිසි දිනෙක ප්‍රචණ්ඩ අන්තවාදියෙකු නොවේ. උප්පත්තියෙන් කිසිවක් නොදන්නා පුද්ගලයාගේ මනස, ප්‍රචණ්ඩ අන්තවාදී අදහස් වලින් පිරවීමටත්, එයින් මිදී එයට එදිරි වීමටත් එකී පුද්ගල මනස පෝෂණය කරවීමටත් සමත්කම් දක්වන්නේ තමා ජීවත් වන සමාජය, වටපිටාව සහ පරිසරය මගින් ඇති කරන බාහිර බලපෑම් වලිනි. අනාගතයේ රට බාරගනු ලබන තරුණ පරපුර ලෙස ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව හඬ නැගීමටත් එය වැලැක්වීමට ක්‍රියා කිරීමටත් සූදානම් වීම තාරුණ්‍යයේ උර මත ඇති තවත් එක් විශාල වගකීමකි.

සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලැබූ "ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම" සම්බන්ධව කෙටි මාර්ගගත පාඨමාලාව සඳහා මා එකතු වූයේ පසුගිය වසරේ (2020) අග භාගයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී ය. ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වන තරුණයෙකු ලෙස මෙම පාඨමාලාවට මා ඉතා ආශාවෙන් සම්බන්ධ වීමි.

මෙහිදී ප්‍රථමයෙන් ඒ සම්බන්ධව අපව දැනුවත් කිරීම සඳහා සතියකට එක් දේශනය බැගින් සති 6ක් පුරාවට හරවත් අන්තර්ක්‍රියාකාරී දේශන 6ක් පවත්වන ලදි. ඒවා නම් ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම සම්බන්ධ සිද්ධාන්ත, කතා කිරීමේ නිදහස සහ වෛරී කථනය, කාන්තාවකගේ චරිතය සම්බන්ධව අවධානයෙන් ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීමෙහිලා තාරුණ්‍යයේ කාර්යභාරය, සදාචාරසම්පන්න පණිවිඩ හුවමාරුව, ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීමෙහිලා සමාජ මාධ්‍ය භාවිතය සහ මාර්ගගත ආරක්ෂාවේ මූලික සිද්ධාන්ත, සයිබර් ආරක්ෂාව සඳහා පවත්නා වේදිකා සහ පවත්නා නීති සම්බන්ධව දැනුවත් කිරීම යන දේශන විය. කතා කිරීමේ නිදහස සහ වෛරී කථනය සම්බන්ධව පැවති දේශනය මාගෙ වඩාත්ම සිත් ගත් දේශනයයි. වෙනත් කෙනෙකුගේ වචන භාවිතයේ නිදහස සහ ද්වේශ සහගත කථනයේ දී තවත් එක් පුද්ගලයෙකුට සිදුවන හානිය සම්බන්ධව එහිදී වඩාත් හරවත් රසවත් අයුරින් විස්තර කරන ලදි. මීට අමතරව අනිකුත් දේශන මගින් විශාල දැනුම් සම්භාරයක් ලැබුනු අතර සමාජයේ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව හඬ නැගීමට සහ ක්‍රියාකිරීමට අපව විශාල වශයෙන් දිරිමත් කරන ලදි. තවද අප විසින් සාමය හා ගැටුම් නිරාකරණයට අදාලව ප්‍රඥාවක් ඇතුලත් වීඩියෝ පටයක්ද සාදන ලද අතර අපේ කුසලතා වර්ධනයට එය මහත් රුකුලක් විය.

ශ්‍රී ලංකාවේ අනාගතය බාරගැනීමට මග බලා සිටිනා තාරුණ්‍යය ලෙස මෙවැනි ක්‍රියාකාරී වැඩසටහනකට සම්බන්ධ වීමට හැකිවීම මා ලද භාග්‍යක් ලෙස සලකමි. තවත් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධවීමටත් ඒ මගින් ලැබෙන දැනුම සමාජය තුල රෝපණය කර සමාජ පද්ධතිය තුල සාධනීය වෙනසක් ඇති කිරීමටත් යොදා ගැනීමටත් වගකීම් සහිත තරුණයෙකු ලෙස බලාපොරොත්තු වන්නෙමි. තවත් මෙලෙස තරුණ පරපුර දැනුමින් පෝෂණය කිරීමට සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. 

***

සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (Centre for Equality and Justice) විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යුරෝපා සංගමයේ (European Union) අරමුදල් සහිතව පවත්වාගෙන යන ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේ (PVE) ව්‍යාපෘතියේ කොටසකි.

සරංග දිල්හාන් කෝනාර,

පේරාදෙණිය විශ්ව විද්‍යාලය